මිදිගම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකුට අමානුෂික ලෙස පහරදී හිරිහැර කිරීම තුළින් සුරාබදු නිලධාරීන් හත් දෙනෙකු ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය. ඒ අනුව අදාළ නිලධාරීන් හත්දෙනා විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 75,000 බැගින්, සමස්තයක් ලෙස රුපියල් 525,000ක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය. මෙම වන්දි මුදල අද සිට මාස 3ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බව ද තීන්දුවේ සඳහන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඒකමතික තීන්දුව ලබා දෙන ලදී. පෙත්සම්කාර අවන්හල් හිමියා අධිකරණය හමුවේ කියා සිටියේ 2023 වසරේ ජනවාරි මස 4 වනදා තම ආයතනය තුළට කඩා වැදුණු මෙම නිලධාරීන්, තමන් පොලිසියෙන් බව පවසමින් බැටන් පොලුවලින් තමන්ට සහ සේවකයින්ට පහර දුන් බවයි. එමෙන්ම ඇඳ ඇතිරිල්ලකින් ඇස් බැඳ මත්පැන් බෝතල් පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්ට දැඩි පීඩා පැමිණවූ බවට ද ඔහු සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී ඉදිරිපත් වූ CCTV දර්ශන සහ අනෙකුත් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සුරාබදු නිලධාරීන්ගේ මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරුට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබීමට ඇති අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව තීරණය කළේය. රජයේ නිලධාරීන් සිය රාජකාරි බලතල ඉක්මවා යමින් සිදුකරන මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් කිසිසේත් අනුමත කළ නොහැකි බව අධිකරණය වැඩිදුරටත් අවධාරණය කළේය.














