මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කාසල්රී ජලාශ වේල්ලට පහළින් පිහිටි ජල පෝෂක රක්ෂිත ප්‍රදේශයක ඊයේ (25) පස්වරුවේ හටගත් දරුණු ගින්නකින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. පස්වරු 5:00ට පමණ ආරම්භ වූ මෙම ගින්න වියළි තණකොළ සහ දැඩි සුළඟ හේතුවෙන් රක්ෂිතය පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර ජලාශයේ ආරක්ෂක අංශ නිලධාරීන්, කාසල්රී පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා රාත්‍රී කාලයේදීම ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ. පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බැවින් මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














