ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ යුද හමුදාවේ සාමාජිකයන් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණයට වෘත්තීය සමිති විරෝධය පෑම පිළිබඳව තමා කණගාටු වන බවයි. මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට එක් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
හදිසි තත්ත්වයකදී දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද හමුදාවේ සුළු පිරිසකට මෙම පුහුණුව ලබාදීම කාලෝචිත පියවරක් බවත්, එය වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස වරදවා වටහා නොගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. දිනකට දුම්රිය වාර 280ක් පමණ ක්‍රියාත්මක වන පසුබිමක, හමුදාවේ 20 දෙනෙකු පුහුණු කිරීම වෘත්තීය සමිතිවලට තර්ජනයක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ ඇති වූ ස්වභාවික විපත්වලදී කැඩී ගිය දුම්රිය පාලම් යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදාව විශාල සහයෝගයක් ලබා දුන් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ සහාය ලබා ගන්නේ නම්, හදිසි අවස්ථාවක දුම්රිය ධාවනය සඳහා සහාය වීමට ඔවුන් පුහුණු කිරීම අසාධාරණ නොවන බව ඔහුගේ තර්කය විය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් අපහසුතාවයට පත් කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට උත්සාහ කිරීම පිළිබඳව රජය අවධානය යොමු කළ බවත්, එම දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් හමුදාවට ලබා දීමට ගිය පුහුණුව තාවකාලිකව නැවැත්වූ බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














