අද (18) පාර්ලිමේන්තුවේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. තමන්ගේ කතාවට බාධා කරන මන්ත්‍රීවරුන් පාලනය කරන ලෙස ඔහු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.
සභානායකවරයා සිය කතාව පවත්වමින් සිටියදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම බාධා කළහ. එහිදී දැඩි ලෙස කෝපයට පත් බිමල් රත්නායක මහතා, “දේශපාලන වනචරයන්ට මගේ කාලය කන්න දෙන්න එපා” යැයි පවසමින් කතානායකවරයාගෙන් ආරක්ෂාව පැතීය.
බාධා කළ මන්ත්‍රීවරුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “මන්ත්‍රීකම් විකුණපු මිනිස්සු මෙතන අපිට බාධා කරනවා” යනුවෙනි. එමෙන්ම මෑතකදී සජබ නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් අදාළ මන්ත්‍රීවරයා පහර කෑ බවට ද ඔහු මෙහිදී උපහාසාත්මකව මතක් කර දුන්නේය.
මෙම උණුසුම් තත්ත්වය හමුවේ සභාවේ කටයුතුවලට බාධා පැමිණි අතර, මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කිරීමට කතානායකවරයාට කිහිප වරක්ම මැදිහත් වීමට සිදු විය. වත්මන් රජයේ සභානායකවරයා සහ විපක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් අතර පවතින දේශපාලන ගැටුම මෙම සිදුවීමෙන් මනාව පිළිඹිබු විය.














