“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට නම් ප්ලාස්ටික් උවදුරෙන් තොර සුන්දර පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. මෙය හුදු සටන් පාඨයක් පමණක් නොවිය යුතු බවත්, ආයතනික සම්බන්ධීකරණය, නිෂ්පාදකයින්ගේ කැපවීම සහ මහජනතාවගේ හැසිරීම් රටාවේ වෙනසක් සමඟ සිදුවිය යුතු සැබෑ “පද්ධතිමය වෙනසක්” (System Change) විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
කොළඹදී පැවති “විසතීරණ නිෂ්පාදක වගකීම්” (EPR) සහ නැවත එකතු කිරීමේ උපායමාර්ගික ආකෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ඔහු අනාවරණය කළ තොරතුරුවලට අනුව වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 1.6කට අධික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන අතර දිනකට ප්ලාස්ටික් හා පොලිතීන් මෙට්‍රික් ටොන් 938ක් පමණ පරිසරයට එකතු වේ. කෙසේ වෙතත් සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක් වන්නේ 4%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම පාරිසරික අර්බුදයට විසඳුමක් ලෙස 2D පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සහ නිෂ්පාදකයින් ඒකාබද්ධව නව ආකෘතියක් සකසා ඇත. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.













