ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2026 වර්ෂය සඳහා වන නව ඉලක්ක හඳුනා ගැනීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සඳහා කඩිනම් සහ සහනදායී විසඳුම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.
දැනට පවතින ලිඛිත ලේඛන ක්‍රමවේදය වෙනුවට ඉඩම් වාර්තා සියල්ල කඩිනමින් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමගින් දූෂණය සහ ප්‍රමාදය අවම කර වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට අපේක්ෂිතය.
ඉඩම් සම්බන්ධ ගැටලු ජනතාවට විශාල මානසික පීඩනයක් ගෙන දෙන කරුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ ඇදෙන ඉඩම් ආරවුල් සහ ඔප්පු ගැටලු කඩිනමින් විසඳා ගත හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින සේවක හිඟය හේතුවෙන් සේවා සැපයීමේදී ඇති වන බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. එම පුරප්පාඩු පිරවීම සහ පවතින පරිපාලනමය ගැටලු නිරාකරණය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සාකච්ඡාව හරහා 2026 වසරේදී ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව වඩාත් මහජන හිතකාමී සහ තාක්ෂණිකව දියුණු රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය වී තිබේ.














