වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය ( IFTM TOP RESA 2021 ) සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද(04) දිවයිනෙන් පිටත්ව ගියහ.
එම ප්‍රදර්ශනය හෙටින් ආරම්භ වී ලබන 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැත්වෙන අතර මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සංචාරක ක්ෂේත්රයේ නියැලි වෘත්තිකයන් රැසක් සහභාගී වීමට නියමිතය.
IFTM TOP RESA ප්‍රදර්ශනය වාණිජමය සංචරණය, විනෝදාස්වාදය හා කණ්ඩායම් යන අංශ ආවරණය කරන ප්‍රංශයේ ප්‍රධානතම සංචාරක වෙළද ප්‍රදර්ශනය වේ.
ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනය වෘත්තිමය සංචාරක ක්ෂේත්රයේ ප්රමුඛ ප්‍රදර්ශනයකි. මුලින් එය TOP RESA නමින් හැදින්විය. 2009 වසරේ එය යලි IFTM TOP RESA යන නමින් වර්සෙල්හි පැවැත්වීමට කටයුතු යෙදුනි.
IFTM ප්‍රදර්ශනය අග්‍රගණ්‍ය හමුවීමේ තොතැන්නක් මෙන්ම වාණිජමය අවස්ථා හා ප්‍රංශ සංචාරක වෙළදපොලට මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට ද බලවත් රුකුලක් වන අතර, මෙමගින් නව වෙළද පාරිබෝගික සබදතා හා වාණිජමය ගනුදෙනු මෙන්ම සබදතාවයන් ගොඩනගා ගැනීම සහතික වන තීරණ ගැනීමේ හැකියාවෙන් යුත් ඉහල පෙලේ වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාවක් වනු ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර 2019 වර්ෂයේදී පමණක් ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 28ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී විය.
ගමනාන්ත 200ක් වෙළඳ සන්නාම 1700ක් මෙන්ම සංචාරක වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය.