ප්‍රජා ශක්ති වැඩසටහන යනු කිසියම් දේශපාලන පක්ෂයක් ශක්තිමත් කිරීම සඳහා භාවිත කරන අවියක් නොව, රටේ දරිද්‍රතාව තුරන් කිරීම සහ ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් ජාතික මෙහෙවරක් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතාගේ ද සම සභාපතිත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී, දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, පානීය ජල ප්‍රශ්නය, මාර්ග සංවර්ධනය සහ තරුණ රැකියා අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එහිදී ප්‍රජා ශක්ති වැඩසටහන දේශපාලන අරමුණු සඳහා භාවිත වන බවට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් චෝදනා නැගූ අතර, ඇමතිවරයා ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බවයි.
සමාජයේ අවාසිසහගත කොටස්වලට ඍජු ප්‍රතිලාභ සැලසීම සහ ආර්ථික ස්ථායීතාව ගොඩනැඟීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බවත්, උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, අර්චුනා රාමනාදන් සහ ජයචන්ද්‍රමූර්ති රජීවන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.














