හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සිය ප්‍රසාදය පළ කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ අධිකරණය ස්වාධීනව සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව ජනතාව මෙන්ම තමන්ද සතුටට පත්වන බවයි.
පසුගිය කාලසීමාවන්හිදී විවිධ රජයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කළද, වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවත්, පාලකයන් විසින් අපරාධකරුවන් ආරක්ෂා නොකරන බව ක්‍රියාවෙන් ඔප්පු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දඬුවම් ලැබිය යුතු තවත් බොහෝ පිරිසක් තවමත් නිදැල්ලේ පසුවන බව පෙන්වා දුන් ඒ මහතා, ඉදිරියේදී එම පිරිස් සම්බන්ධයෙන්ද අධිකරණය නිසි තීන්දු තීරණ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














