2030 වසර වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) සංවිධානය කළ 33 වන “NCE අපනයන සම්මාන උළෙල – 2025” සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
2025 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 17.2 ක වාර්තාගත ඉහළම අපනයන ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර කිහිපය තුළ එම අගය දෙගුණයකින් වැඩි කිරීම රජයේ ප්‍රධාන ආර්ථික ඉලක්කය බව සඳහන් කළේය. විදේශයන්ට ගැති නොවන, ණය බරින් තොර, ස්වාධීන සහ අනන්‍යතාවය රැකගත් ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපනයනකරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














