කොළඹ වරායෙන් නිසි භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත් කර තිබේ. ස්ථාවර නියෝග 106 විධිවිධානවලට අනුකූලව සිදුකරන ලද මෙම පත්කිරීම පිළිබඳව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා මෙලෙස පත් කර ඇත. මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ අදාළ බහාලුම් ප්‍රමාණය නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටවීමට බලපෑ හේතු සොයා බැලීම, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සහ අනාගතයේදී මෙවැනි දෝෂයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුව හරහා වරාය සහ රේගු කටයුතුවලදී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව ගැඹුරු විමර්ශනයක් අපේක්ෂා කෙරේ. බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීම සඳහා වූ නව යෝජනා මෙම කමිටුව විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.















