විවිධ පරිපාලනමය ගැටලු මවාපාමින් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලාෆ් ගෑස් (Laugfs Gas) සමාගමට දැඩිව දැනුම් දී තිබේ. හම්බන්තොට පිහිටි එම සමාගමේ ගබඩා පර්යන්තය වෙත ගෙන එනු ලබන ගෑස් තොගවලින් 20%ක් මෙරට වෙළඳපොළ සඳහාත්, ඉතිරි 80% ප්‍රතිඅපනයනය සඳහාත් රජය විසින් ලබා දී ඇති විශේෂ පහසුකම යටතේ සිදු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් එම සමාගම විවිධ පරිපාලන ගැටලු ඉදිරිපත් කරමින් සියලු ගෑස් තොග මෙරට වෙළඳපොළේ විකිණීම සඳහා උත්සාහ කරමින් කෘත්‍රිම අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට අමාත්‍යවරයා චෝදනා කරයි.
පවතින නීතිමය රාමුවෙන් බැහැරව මෙලෙස කටයුතු කිරීමට රජය කිසිසේත් එකඟ නොවන බව අවධාරණය කරන අමාත්‍යවරයා, පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා එම සමාගම බැඳී සිටින බව ප්‍රකාශ කළේය. යම් හෙයකින් එම වගකීම පැහැර හරින්නේ නම්, ඊට එරෙහිව නීතිමය පියවර ගනිමින් දඩ මුදල් අය කිරීමටත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජය පසුබට නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාව අපහසුතාවයට පත් කරමින් ලාභ ලැබීමට දරන මෙවැනි උත්සාහයන් පාලනය කිරීමට රජය සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.














