පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, දාසයහමාර ප්‍රදේශයේදී අද (28) උදෑසන 10.50 ට පමණ යතුරුපැදියක් පාලමකින් පහළට පෙරළී යාමෙන් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා තිබේ.
කදුරුවෙල, මුස්ලිම් කොළණිය ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. ගිරිතලේ වැවේ වාන් ජලය ගෙන යන තිඹිරි ඇළ හරහා ඉදිකර ඇති පාලම මතින් ධාවනය වූ යතුරුපැදිය, පාලනය කරගත නොහැකිව අඩි 20ක් පමණ පහළ පිහිටි ඇළට පෙරළී ගොස් තිබේ.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් පිරිස එක්ව ඇළට වැටී සිටි යුවළ බේරාගෙන ඇත. තුවාල ලැබූවන් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.
යතුරුපැදිකරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිසියේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















