මින්නේරිය පොලිස් වසමට අයත් රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (06) රාත්‍රියේ සිදුවූ දරුණු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලට අනුව, සැකකාර පුත්‍රයා විසින් සිය මවට පහර දෙන බව දැනගත් මියගිය පුද්ගලයා (සැකකරුගේ මාමා), තම සහෝදරිය බේරා ගැනීම සඳහා ඇයගේ නිවසට ගොස් තිබේ. එහිදී මන්ද මානසික රෝගී තත්ත්වයකින් පසුවන බව කියන සැකකරු විසින් සිය මාමාට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුගේ මව මේ වන විට හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මියගිය පුද්ගලයාගේ දේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














