රුමේනියානු පාපන්දු ඉතිහාසයේ බිහිවූ අතිසාර්ථක ක්‍රීඩකයෙකු මෙන්ම ලොව දක්ෂතම පුහුණුකරුවෙකු ලෙස සැලකෙන මිර්සියා ලුසෙස්කු (Mircea Lucescu) මහතා වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය සිකුරාදා උදෑසන ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බුකාරෙස්ට් විශ්වවිද්‍යාල හදිසි රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) ඔහු මෙලෙස සමුගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද යුරෝපීය පාපන්දු පිටියේ නොමැකෙන සටහනක් තැබූ ලුසෙස්කු මහතා, සිය වෘත්තීය ජීවිතය තුළ යුරෝපීය සමාජ මට්ටමේ ශූරතා රැසක් දිනා ගැනීමට සමත් වූවෙකි. විශේෂයෙන්ම යුක්‍රේනයේ ෂක්තාර් ඩොනෙට්ස්ක් (Shakhtar Donetsk) කණ්ඩායම සමඟ වසර 12ක් පුරා ඔහු ලැබූ ජයග්‍රහණ සහ 2009 වසරේ දිනාගත් UEFA කුසලානය ඔහුගේ පුහුණුකාරී දිවියේ ස්වර්ණමය අවස්ථාවන් ලෙස සැලකේ.
ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම කුසලාන ප්‍රමාණයක් දිනාගත් පුහුණුකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවන ලුසෙස්කු මහතාගේ අභාවය රුමේනියානු පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ලෝක පාපන්දු ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔහුගේ අභාවය වෙනුවෙන් ලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් සහ රසිකයින් සිය ශෝකය පළ කරමින් සිටියි.














