මීරිගම මූලික රෝහල තුළ වකුගඩු ගල් සැත්කම් සඳහා වන ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් (National Referral Center for Kidney Stone Surgery) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙය මීරිගම ප්‍රදේශයට පමණක් නොව මුළු දිවයිනේම ජනතාවට සේවය සැලසෙන ජාතික මට්ටමේ සුවිශේෂී සෞඛ්‍ය ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (Establishment of a high-volume stone center) ස්ථාපිත කිරීමට නියමිත අතර, එමඟින් මෙරට රෝහල්වල පවතින රෝගී පොරොත්තු ලේඛන (Waiting lists) අවම කිරීම ප්‍රධාන අරමුණක් වේ. මීට අමතරව මෙම ඒකකයේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා විසින් මෙහිදී විශේෂ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.














