ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ අර්බිල් (Erbil) නුවර ස්ථාපනය කර ඇති ඉතාලි හමුදා කඳවුරකට ඊයේ (11) රාත්‍රියේ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, මෙම ප්‍රහාරයෙන් කිසිදු හමුදා සාමාජිකයෙකුට ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එහි සිටි සෙබළුන් වහාම ආරක්ෂිත බංකර් වෙත යොමු වී ඇති අතර, ඔවුන් සියලු දෙනාම මේ වන විට නිරුපද්‍රිතව පසුවන බව ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්ටෝනියෝ තජානි මහතා ප්‍රකාශ කළේය. ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගුවයිඩෝ ක්‍රොසෙටෝ ද මේ සම්බන්ධයෙන් අදාළ හමුදා අණදෙන නිලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බව සඳහන් වේ.
කුර්දි ආරක්ෂක බලකායන් පුහුණු කිරීමේ අරමුණින් ඉතාලි සොල්දාදුවන් 300ක් පමණ දැනට අර්බිල්හි රඳවා සිටිති. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය මධ්‍යයේ එල්ල වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, අල්ජසීරා පුවත් සේවය මෙම තොරතුරු වාර්තා කර ඇත.














