යුරෝපයට ස්වාධීන කෘතිම බුද්ධි (AI) වලාකුළු යටිතල පහසුකම් පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කරමින්, ප්‍රංශයේ Mistral AI සමාගම පැරිස් නුවරට දකුණින් පිහිටි Bruyères-le-Châtel හි නව දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 830ක (€ මිලියන 750) අරමුදලක් රැස් කර තිබේ. බැංකු හතකින් ලබාගත් මෙම ණය මුදල Mistral සමාගමේ ඉදිරි දැක්ම කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කරන්නක් බව එම සමාගම අද (30) ප්‍රකාශ කළේය.
මෙම නව දත්ත මධ්‍යස්ථානය NVIDIA චිප් (Chips) 13,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර, එය මෙගාවොට් 44ක (44 MW) බලශක්ති ධාරිතාවකින් ක්‍රියාත්මක වීමට නියමිතය. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ඇස්තමේන්තුවලට අනුව, මෙය සාමාන්‍ය දත්ත මධ්‍යස්ථානයක් භාවිතා කරන බලශක්තිය මෙන් එකහමාරක ගුණයක වැඩිය. Mistral හි AI මාදිලි පුහුණු කිරීම සඳහා අවශ්‍ය දැවැන්ත පරිගණක බලය (Compute Power) ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.














