ඉන්දියාවේ මිසෝරාම් (Mizoram) ප්‍රාන්ත පොලිසිය පසුගිය සතිය පුරා දියත් කළ විශේෂ මෙහෙයුම් මාලාවකදී රුපියල් කෝටි 25.01ක් වටිනා හෙරොයින් සහ මෙතැම්පටමින් (Methamphetamine) ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 25 සිට මාර්තු 31 දක්වා කාලය තුළ ප්‍රාන්තයේ විවිධ ස්ථානවල සිදුකළ මෙම වැටලීම්වලදී මියන්මාර ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන පරීක්ෂක ජනරාල් එච්. රාම්තලෙන්ලියානා (H. Ramthlengliana) මහතා තහවුරු කළේය.
වඩාත්ම තීරණාත්මක මෙහෙයුම මාර්තු 25 වනදා අලුයම අයිසෝල් (Aizawl) නගරය ආසන්නයේ පිහිටි ටුයිරියල් පාලම (Tuirial Bridge) අසලදී සිදුවිය. එහිදී සයිටුවල් දිස්ත්‍රික්කයේ සිට පැමිණි ට්‍රක් රථයක් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 15.86ක් වටිනා ‘යාබා’ (Yaba) නමැති මෙතැම්පටමින් පෙති කිලෝග්‍රෑම් 19.836ක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය සමත් විය. මීට අමතරව එම රථය තුළ තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත අත් තුවක්කුවක්, මැගසින් දෙකක් සහ සජීවී උණ්ඩ 40ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මියන්මාර ජාතිකයන්ට අමතරව මණිපූර් ප්‍රාන්තයේ සිව් දෙනෙකු සහ ඇසෑම් ප්‍රාන්තයේ එක් අයෙකු ද සිටින බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කර ඇති ‘Operation Kavach’ වැනි දැවැන්ත මෙහෙයුම්වල කොටසක් ලෙස මෙම වැටලීම් සිදුකර ඇති අතර, කලාපය පුරා සිදුවන නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට මිසෝරාම් පොලිසිය දැඩි පියවර ගනිමින් සිටියි.
















