මෝදර, බ්ලූමැන්ඩල් තෙල් සංකීර්ණය ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 600ක් සහ රුපියල් හැට දෙලක්ෂ තිස්තුන්දහසක (6,233,000) මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරකට අනුව අද (06) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය සහ මුදල්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “වත්තල හෂාන්” නමැත්තාට අයත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවට සැක කෙරේ.
ප්‍රධාන සැකකරු වන වත්තල හෂාන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව මෝදර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.














