කොළඹ නගරයේ පවතින වසර 100කට වඩා පැරණි මලාපවහන පද්ධතිය නවීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය දීර්ඝ කාලයක සිට නිසි අලුත්වැඩියාවකට ලක් නොවීම හේතුවෙන් මතු වී ඇති ගැටලුවලට පිළියම් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
පද්ධතියේ පවතින පොම්පාගාර 08ක අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇත. පසුගිය වසරේදී මෙම නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 10,000කට අධික මුදලක් වැය කර ඇති අතර, මෙවර ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 9,000කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.
මෙම නවීකරණ කටයුතු ඉන්දීය සමාගමක් විසින් සිදු කරනු ලබන අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා අද (18) එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. කොළඹ නගරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම සහ පාරිසරික ගැටලු අවම කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
පැරණි නල පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් පද්ධතියක් ස්ථාපිත කිරීම හරහා වර්ෂා කාලවලදී කොළඹ නගරයේ ඇති වන ජල ගැලීම් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාදයන් අවම වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.














