ගුජරාටයේ ගාන්ධිනගර්හි පිහිටි ‘කෝබා තීර්ත්’ (Koba Teerth) හි අතිනවීන ‘සම්රාත් සම්ප්‍රති’ (Samrat Samprati) කෞතුකාගාරය අද (31) විවෘත කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ, පසුගිය රජයන් දේශපාලන වාසි තකා ඉන්දියාවේ පුරාණ අත්පිටපත් සහ උරුමයන් නොසලකා හැර ඇති බවයි. ජෛන ආගමේ විකාශනය විදහා දක්වන දුර්ලභ වස්තූන් 2,000කට අධික ප්‍රමාණයක් මෙම කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබේ.
නිදහසින් පසු ඉන්දියාවේ අත්පිටපත් සෙවීම සහ ඒවා සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් විය යුතු වුවද, යටත් විජිත මානසිකත්වය සහ ඡන්ද පදනම ඉලක්ක කරගත් දේශපාලනය හේතුවෙන් එම කටයුතු මඟ හැරී ගිය බව ඔහු පෙන්වා දුන්නේය. වර්තමාන රජය එම මානසිකත්වය වෙනස් කර ‘ඥාන භාරතම්’ (Gyan Bharatam) මෙහෙයුම හරහා මෙම ඉපැරණි දැනුම ඩිජිටල්කරණය කර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම ජෛනාචාර්ය ශ්‍රී පද්මසාගර් සූරිශ්වර්ජි මහාරාජ් සාහෙබ් වැනි සාන්තුවරයන් වසර 60ක් පුරා රට පුරා සංචාරය කරමින් සොයාගත් තල්පත් සහ බර්ච් පොතු මත ලියන ලද අත්පිටපත් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අද වන විට කෝබා හි ආරක්ෂිතව පවතින බව මෝදි අගමැතිවරයා සඳහන් කළේය. මෙම සේවය ඉන්දියාවේ අතීතය, වර්තමානය සහ අනාගතය වෙනුවෙන් සිදු කළ උදාර මෙහෙවරක් ලෙස ඔහු අගය කළේය.














