අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ, අමෙරිකානු ස්ථාවරයන්ට ප්‍රසිද්ධියේම අභියෝග කරන ප්‍රබල චරිතයක් ලෙස ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැඳින්විය හැකිය. ඉරානයේ ‘දැඩි මතධාරී’ දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන ඔහු, ආරක්ෂක මෙන්ම සිවිල් පාලන අංශයන්හි ඉහළම තනතුරු හෙබවූ පුද්ගලයෙකි. මෑතකදී පාකිස්ථානයේ පැවති අසාර්ථක වූ සාම සාකච්ඡාවලදී ඉරාන දූත පිරිසට නායකත්වය දුන්නේ ද මොහු වන අතර, එම සාකච්ඡාවලින් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ අමෙරිකාව ඉරානයේ විශ්වාසය දිනාගැනීමට අපොහොසත් වී ඇති බවයි.
1961 වසරේ උපත ලැබූ ගලීබාෆ්, 1980 දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) එක්වූ අතර ඉරාන-ඉරාක යුද්ධයේදී අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිය හමුදා පසුබිම ශක්තිමත් කරගත්තේය. පසුව සිවිල් පාලන අංශයට පිවිසි ඔහු, 2005 වසරේ සිට වසර 12ක් පුරා ටෙහෙරානයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් නගරයේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය. කෙසේ වෙතත්, එම කාලය තුළ ඔහුට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ද එල්ල වී තිබේ.
2020 මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරන මොහු, සිව් වතාවක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ ද ඒවායින් ජය ගැනීමට සමත් වූයේ නැත. වත්මන් යුධමය වාතාවරණය හමුවේ ඉරානය පුරා අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති පසුබිමක පවා, ඔහුගේ ‘X’ (ට්විටර්) ගිණුම සක්‍රීයව පවත්වාගෙන යමින් අමෙරිකාවට සිය විරෝධය පළ කිරීම ලෝක දේශපාලන විචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වූ කරුණකි.














