ඉරානයේ රමසාන් උත්සවයේ අවසානය සනිටුහන් කරන ඊද් අල්-ෆිතර් (Eid al-Fitr) සහ පර්සියානු අලුත් අවුරුද්ද වන ‘නොවුරුස්’ (Nowruz) සැමරුම් පැවැත්වෙන මොහොතක, එරට නව උත්තරීතර නායක මොජ්ටබා ඛමේනි ප්‍රසිද්ධ උත්සවවලට සහභාගී නොවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. සාමාන්‍යයෙන් ඉරාන උත්තරීතර නායකයා විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන ඊද් යාච්ඤාවන් සඳහා මෙවර ඔහු සහභාගී වී නැති බව ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරයි.
සිය පියා වන අලි ඛමේනි ඝාතනයට ලක්වීමෙන් පසු මෙම මස මුලදී බලයට පත් වූ මොජ්ටබා ඛමේනි වෙනුවට, ටෙහෙරානයේ ඉමාම් කොමේනි මහා පල්ලියේ පැවති යාච්ඤා මෙහෙයන් සඳහා සහභාගී වී ඇත්තේ එරට අධිකරණ ප්‍රධානී ගොලම් හොසේන් මොහ්සෙනි එජේයි (Gholam Hossein Mohseni Ejei) ය. අලුත් අවුරුදු සිරියාව නගරය පුරා පැතිර ගියද, රට තුළ පවතින අස්ථාවරත්වය හමුවේ ජනතාව තුළ යම් බියක් සහ ශෝකී ස්වභාවයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
ඉරානයේ ඉහළම බලධාරියා මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම එරට දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව විවිධ සැකසංකා මතු කර ඇත. විශේෂයෙන්ම කලාපීය ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක නව නායකයාගේ නිහඬතාවය ඉරාන වැසියන් මෙන්ම ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් ද දැඩි විමර්ශනයට ලක් කරමින් සිටියි. ඉදිරි දිනවලදී මොජ්ටබා ඛමේනි විසින් ජාතිය ඇමතීමට නියමිතද යන්න පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් වී නොමැත.














