ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) සිය ප්‍රථම නිල ප්‍රකාශය ඊයේ (මාර්තු 12) නිකුත් කළද, ඔහු පෞද්ගලිකව කැමරාව ඉදිරියට පැමිණීමෙන් වැළකී සිටියේය. ඔහුගේ පණිවුඩය ඉරාන රාජ්‍ය රූපවාහිනියේ පුවත් නිවේදකයෙකු විසින් කියවන ලද අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි සැකයක් මතු කිරීමට හේතු වී තිබේ.
නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත වාර්තා කරන පරිදි, පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ පළමු දිනයේදී ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මොජ්ටාබා ඛමේනිගේ දෙපාවලට බරපතළ තුවාල සිදුවී ඇති බව ඉරාන බලධාරීන් තිදෙනෙකු තහවුරු කර ඇත. මේ හේතුවෙන් ඔහු මේ වන විට දැඩි ආරක්ෂිත ස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු ප්‍රසිද්ධියට නොපැමිණෙන්නේ එම තුවාල හේතුවෙන් බවත් පැවසේ.
තම පියා ඇතුළු පිරිසගේ මරණවලට පළිගන්නා බවට සිය පණිවුඩය මඟින් සපථ කළ ඔහු, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකකට දායක වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා තබන ලෙසට ද නියෝග කර තිබේ. ඉශ්‍රායල මාධ්‍ය ද මොහු තුවාල ලබා ඇති බව මීට පෙර වාර්තා කළ අතර, නව නායකයා ප්‍රසිද්ධියට නොපැමිණීම ඉරාන පාලනය තුළ යම් අර්බුදකාරී ස්වභාවයක් නිර්මාණය කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














