ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) සිය ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ ලෝක තෙල් ප්‍රවාහනයේ තීරණාත්මක මංසන්ධියක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දිගටම වසා තැබිය යුතු බවයි. සතුරාට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා එය ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පර්සියානු බොක්ක ආශ්‍රිත අසල්වැසි රටවලට අනතුරු ඇඟවූයේ එම රටවල පිහිටි සියලුම ඇමෙරිකානු හමුදා කඳවුරු වසා දමන ලෙසයි. එම කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ඇමෙරිකාව ලබා දෙන බව පවසන ආරක්ෂාව “හුදෙක් මුසාවක් පමණක්” බවත් ඔහු සඳහන් කළේය.
මෙම පණිවුඩය නිකුත් කරන අවස්ථාවේදී ද මොජ්ටාබා ඛමේනි ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර රාජ්‍ය රූපවාහිනී පුවත් නිවේදකයෙකු මඟින් එය ප්‍රචාරය කෙරිණි. යුද්ධයේ ආරම්භක දිනවල එල්ල වූ ප්‍රහාරවලින් ඔහු තුවාල ලබා ඇති බවට ඉශ්‍රායල සහ විදෙස් පුවත් සේවා සැක පළ කරන අතර, ඔහු මෙලෙස කැමරාව ඉදිරියට නොපැමිණීම එම සැකය තවදුරටත් තහවුරු කරන්නක් බව විචාරකයෝ පවසති.














