ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටාබා ඛමේනි, පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිය මුහුණට සහ පාදවලට සිදුවූ බරපතල තුවාලවලින් තවමත් සුවය ලබමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඔහුගේ පියා වූ අයතුල්ලා අලි ඛමේනි ඝාතනය වූ එම ප්‍රහාරයේදීම මොජ්ටාබා ඛමේනි ද දැඩි ලෙස තුවාල ලබා ඇති බවත්, ඔහුගේ මුහුණ විකෘති වී ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.
වයස අවුරුදු 56ක් වන ඔහු දැනට ශ්‍රව්‍ය සාකච්ඡා (audio conferencing) මාර්ගයෙන් රජයේ තීරණාත්මක සාකච්ඡාවලට සහ යුද කටයුතු පිළිබඳ තීරණ ගැනීමට දායක වන බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, මාර්තු 8 වැනිදා ඔහු නව නායකයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා ඔහුගේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් ප්‍රසිද්ධියට පත් කර නොමැති වීම විශේෂත්වයකි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ද ඔහුව හැඳින්වීම සඳහා යුද්ධයකදී බරපතල තුවාල ලැබූවන් හැඳින්වීමට භාවිත කරන “ජන්බාස්” (janbaz) යන පදය භාවිත කර තිබේ.
අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ ඔහුට එක් පාදයක් අහිමි වී ඇති බවට විශ්වාස කරන බවයි. ඉරානය දශක කිහිපයකින් මුහුණ දෙන දරුණුතම අර්බුදකාරී අවස්ථාවක සහ අමෙරිකාව සමඟ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අද (සෙනසුරාදා) ආරම්භ වන තීරණාත්මක සාකච්ඡා පවතින මොහොතක, නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. ඔහු සිය පියා මෙන් පූර්ණ බලතල සහිතව පාලනය මෙහෙයවීමට සමත් වේද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයෝ මේ වන විට සැක පළ කරති.














