අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වී මාසයක් ගතවී ඇතත්, ඉරානයේ නව උච්චතම නායක මුජ්තබා කමෙයිනී (Mojtaba Khamenei) මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. 2026 පෙබරවාරි 28 වනදා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහුගේ පියා වූ අයතුල්ලා අලි කමෙයිනී ඝාතනය වීමෙන් පසු ඔහු මෙම ධුරයට පත් විය.
මුජ්තබා කමෙයිනී එම ප්‍රහාරවලින් තුවාල ලබා රුසියාවේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින් ඉරානයේ රුසියානු තානාපතිවරයා අද (31) ප්‍රකාශ කළේ ඔහු දැනට ඉරානය තුළම පසුවන බවයි. කෙසේ වෙතත්, “පවතින පැහැදිලි හේතූන් මත” ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමෙරිකානු බුද්ධි අංශ පවසන පරිදි, යුද්ධයේ පළමු දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් නව උච්චතම නායකයා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුගේ මුහුණට ද හානි සිදුවී ඇති බවට සැක කෙරේ. පාදයේ බිඳීමක් සහ ඇසට සිදුවූ තුවාල පිළිබඳව මීට පෙර වාර්තා වී තිබුණ ද, ඉරානය විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන හැරුණු කොට ඔහු සජීවීව දැක ගැනීමට මෙතෙක් කිසිවෙකුට අවස්ථාවක් ලැබී නොමැත. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින පසුබිමක මෙම නිහඬතාවය තීරණාත්මක සාධකයක් වී තිබේ.















