ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්තබා කමේනි නම් කර දැනට පැය 72කට අධික කාලයක් ගතවී ඇතත්, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. විශේෂයෙන්ම ඔහු විසින් ජාතිය ඇමතීමක් හෝ නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු නොකිරීම මෙම කුතුහලය තවත් තීව්‍ර කිරීමට හේතු වී ඇත.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය 56 හැවිරිදි මොජ්තබා කමේනි හඳුන්වා දෙන්නේ ‘ජාන්බාස්’ (Jaanbaz) හෙවත් සතුරා අතින් තුවාල ලැබූ යුද වීරයෙකු ලෙසය. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ‘රාමසාන් යුද්ධය’ ලෙස හැඳින්වෙන ප්‍රහාරවලදී ඔහු තුවාල ලබා ඇති බවට අනුමාන කෙරෙන අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුවක් විය හැකි බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, ඉරාන ජනාධිපතිවරයාගේ පුත් යූසුෆ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ නව නායකයා සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂිතව පසුවන බවයි.
තම පියා වන අලි කමේනිගේ ඝාතනයෙන් පසුව, මොජ්තබාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානයේ ප්‍රබලතම ‘Black-clad Counterterrorism Special Force’ විශේෂ බලකාය යොදවා ඇති බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි 28 ප්‍රහාරවලින් තම දෙමාපියන් සහ බිරිඳ අහිමි වූ මොජ්තබා, අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව සිය පියාගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට ගෙන යමින් පළිගැනීමේ දැඩි ස්ථාවරයක පසුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔහුගේ සැබෑ තත්ත්වය පිළිබඳ නිල තොරතුරු අනාවරණය නොවීම ලෝක දේශපාලන ස්ථාවරත්වයට ද බලපෑම් එල්ල කරමින් පවතී.














