මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන 76 වැනි “මොරටු රන් සටන” මහා ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි (08). ඊයේ දෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය.
තරගයේ මෙතෙක් වාර්තා වූ විශේෂ අවස්ථා මෙසේය. සාන්ත සෙබස්තියන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කළ අතර එහිදී චමත් වෙල්ලාලගේ ලකුණු 58ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගනිමින් ලකුණු 49ක පළමු ඉනිමේ වාසියක් හිමිකර ගත්තේය. වේල්ස් කුමර ඉනිම වෙනුවෙන් සුවහස් ප්‍රනාන්දු ලකුණු 77ක් සහ පලිඟු පෙරේරා ලකුණු 42ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත සිල්වා ලකුණු 100කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතාවක නිරත වූ අතර කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේය.
දෙවන දිනය අවසන් වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය වේල්ස් කුමර පළමු ඉනිමට වඩා ලකුණු 36ක් පසුපසින් සිටි අතර, තිවංක ප්‍රනාන්දු ලකුණු 13ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. අද දිනයේ සාන්ත සෙබස්තියන් පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කරමින් වේල්ස් කුමර විද්‍යාලයට ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














