මොරටුව රාවතාවත්ත “සුසන් අරම” සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ මෘත දේහයේ තිබූ රන් ආභරණ සොරකම් කිරීම සඳහා මිනී වළ හෑරූ එම සුසාන භූමියේම මුරකරු ඇතුළු පිරිසකගේ තොරතුරු වාර්තා වේ. පසුගිය 15 වැනිදා මියගිය 73 හැවිරිදි කාන්තාවකගේ සත් දින දානය යෙදී තිබූ ඊයේ (22) දිනයේ, ඇගේ දියණිය සොහොනට ඉටිපන්දම් දැල්වීමට ගිය අවස්ථාවේදී පිරිසක් සොහොන හාරමින් සිටිනු දැක තිබේ. දියණිය ඇතුළු පිරිස කෑගැසීමත් සමඟ සැකකරුවන් තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර, පසුව මොරටුව පොලිසිය කළ විමර්ශනයකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔහු එම සුසාන භූමියේ මුරකරු බවත්, මොරටුව මහ නගර සභාවේ වළවල් හෑරීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු සමඟ එක්ව මත්පැන් පානය කර මෙම අපරාධය සිදු කළ බවත්ය. මියගිය කාන්තාවගේ සිරුරේ තිබූ ආභරණ ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුණද, එම ආභරණ සියල්ල රන් ආලේපිත ව්‍යාජ ඒවා බව මියගිය කාන්තාවගේ දියණිය පොලිසියට පවසා තිබේ. කෙසේ වෙතත්, මොවුන්ගේ අරමුණ රන් ආභරණද නැතහොත් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනා මිනී පෙට්ටියද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි.
මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙවැනි ක්‍රියාවල නිරත වූ පිරිසක්ද යන්න පිළිබඳව මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් මුරකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.














