මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ හෙවත් ‘ඇට්ලස් ලයන්ස්’ (Atlas Lions) කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස 49 හැවිරිදි මොහොමඩ් වහ්බි (Mohamed Ouahbi) පත් කර තිබේ. බෙල්ජියමේ උපත ලබා මොරොක්කෝවේ තාරුණ්‍යය සමඟ සමීපව කටයුතු කර ඇති වහ්බි, මොරොක්කෝ පාපන්දු පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් සහිත අයෙකු ලෙස ප්‍රකටය. ඔහු මීට පෙර බෙල්ජියමේ ඇන්ඩර්ලෙක්ට් (RSC Anderlecht) පුහුණු මධ්‍යස්ථානයේ වසර ගණනාවක් සේවය කරමින් තරුණ ක්‍රීඩකයන් ඔපමට්ටම් කිරීමෙහිලා ඉහළ කීර්තියක් දිනා සිටි පුද්ගලයෙකි.
මොරොක්කෝ පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු 2022 ලෝක කුසලාන අවසන් පූර්ව වටය දක්වා කණ්ඩායම මෙහෙයවූ වැලිඩ් රෙග්රාගුයි (Walid Regragui) වෙනුවට වහ්බි මෙම පත්වීම ලබා ඇත. රෙග්රාගුයි යටතේ මොරොක්කෝව ලෝක ගරුත්වය දිනාගත්තද, මෑතකදී පැවති අප්‍රිකානු කුසලාන (AFCON) අවසන් මහා තරඟයේදී සෙනගල් රාජ්‍යය හමුවේ ලැබූ පරාජය ඔහුගේ නික්ම යාමට ප්‍රධාන හේතුවක් විය. වහ්බි 2022 වසරේ සිට මොරොක්කෝවේ 20න් පහළ කණ්ඩායම පුහුණු කළ අතර, 2025 වසරේ චිලී රාජ්‍යයේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ආර්ජන්ටිනාව 2-0ක් ලෙස පරාජය කරමින් මොරොක්කෝවට ප්‍රථම වතාවට 20න් පහළ ලෝක කුසලානය දිනා දීමට සමත් විය.
වහ්බි සිය කණ්ඩායම් මෙහෙයවීමේදී සාමාන්‍යයෙන් 4-2-3-1 උපායමාර්ගය භාවිතා කරන අතර, ශක්තිමත් ආරක්ෂක වළල්ලක් සහ වේගවත් ප්‍රතිප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. ඔහුගේ මූලික ඉලක්කය වී ඇත්තේ තරුණ ක්‍රීඩකයින් සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඒකාබද්ධ කරමින් 2026 ෆිෆා (FIFA) ලෝක කුසලානය සඳහා මොරොක්කෝ කණ්ඩායම සූදානම් කිරීමයි. වහ්බිගේ මෙම නව ගමන මොරොක්කෝ පාපන්දු ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක ආරම්භය වනු ඇතැයි එරට පාපන්දු ලෝලීන් දැඩි බලාපොරොත්තු තබා සිටිති.















