මොරටු මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර වසරක් පාසා පැවැත්වෙන “රන් මහා හටන” (Battle of the Golds) 74 වන මහා ක්‍රිකට් තරඟය ඊයේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය. දින තුනක් පුරා පැවති මෙම උණුසුම් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, ප්‍රථම ඉනිමේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් විය.
කාසියේ වාසිය දිනූ මොරටු මහා විද්‍යාලයේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 408ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. එහිදී නේක්ෂ ඉද්දමල්ගොඩ ලකුණු 136ක් සහ සන්ධිප විජේරත්න ලකුණු 116ක් ලබා ගනිමින් සුමංගල ඉනිම ශක්තිමත් කළ අතර විදුර භාසුර ලකුණු 77ක් රැස් කළේය. පන්දු යැවීමේදී මොරටු විද්‍යාලයේ මෙනුක කොතලාවල සහ සඳුන් සුවාරිස් කඩුලු දෙක බැගින් බිඳ දැමූහ.
පිළිතුරු ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ මොරටු විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත්තේය. ඔසඳ ජයවික්‍රම ලකුණු 117ක් සහ දෙනෙත් සිතුමිණ ලකුණු 105ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කළද, සුමංගල විද්‍යාලයේ මෙවිඳු කුමාරසිරි ලකුණු 71කට කඩුලු 7ක් දවා ගනිමින් මොරටු ඉනිම මෙල්ල කළේය. බිහඟ සිල්වා කඩුලු 3ක් දවා ගත්තේය. ලකුණු 136ක පළමු ඉනිමේ වාසියක් සහිතව දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 2කට ලකුණු 134ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා මොරටු විද්‍යාලයට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහිදී විදුර භාසුර ලකුණු 60ක් සහ නේක්ෂ ඉද්දමල්ගොඩ ලකුණු 54ක් රැස් කළහ.
තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි මොරටු විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 97ක් ලබා සිටි අතර දෙනෙත් සිතුමිණ නොදැවී ලකුණු 51ක් ලබා සිටියේය. මෙවර තරඟයේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සුමංගල විද්‍යාලයේ සදික දම්යුරු සම්මාන ලැබූ අතර, දක්ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස මොරටු මහා විද්‍යාලයේ දෙනෙත් සිතුමිණ තේරී පත් විය. දක්ෂතම පන්දු යවන්නා ලෙස ශ්‍රී සුමංගල විද්‍යාලයේ මෙවිඳු කුමාරසිරි සම්මානය දිනාගත් අතර, තරඟයේ වීරයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා යන ද්විත්ව සම්මානයෙන්ම පිදුම් ලැබුවේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නේක්ෂ ඉද්දමල්ගොඩය.














