බුත්තල, නාමණ්ඩිය නව ගම්මානයේ පිහිටි නිවසක හටගත් ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි මව අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළ තොරතුරු මෙසේය. මියගොස් ඇත්තේ කේ.ඩී. සුරජි සකුන්තලා නැමැති තරුණ මවකි. පසුගිය 17 වැනිදා උදෑසන බුත්තල – මොනරාගල මාර්ගයේ මහගොයය රජයේ ධාන්‍ය ගබඩාව ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසේ කාමරයක් තුළ තිබූ පෙට්‍රල් බූලියකට ගිනි ඇවිලීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ගින්න හටගත් අවස්ථාවේ එහි සිටි පියා, මව සහ 03 හැවිරිදි කුඩා දියණිය බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබුණි. අසල්වාසීන් සහ රජයේ ධාන්‍යාගාරයේ කළමනාකාරවරයා එක්ව ඔවුන් වහාම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණද, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මව අද උදෑසන මියගොස් තිබේ.
තුවාල ලැබූ ඇයගේ සැමියා වන ජේ.එම්. දිලුක්ෂ මධුසංඛ (29) සහ දියණිය වන ජේ.එම්. ඔනල්‍යා (03) වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මහේස්ත්‍රාත් පූර්ණා ශ්‍යාමලී මහත්මිය විසින් පැවැත්වීමට නියමිත අතර බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














