අක්‍රමිකතා 25ක් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට අනුමතිය
දත්ත පද්ධතිය වෙනස් කළ නිලධාරීන් හඳුනාගැනීමේ හැකියාව දැන් පවතී
මුල් ලිපිගොනු නැති වුවත් වෙනත් මූලාශ්‍ර හරහා විමර්ශන ඉදිරියට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති බව කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ රජයේ ගිණුම් කාරක සභා (COPA) වාර්තාව, ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට අනුමතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 04 වැනිදා රැස්වූ කෝපා කමිටුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, 2022 වසරේ සිදුකළ ස්ථාවර නියෝග සංශෝධනයකින් පසු මෙවැනි වාර්තාවක් නීතිපතිට යොමු කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙහිදී අනාවරණය වූ කරුණු අනුව දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ කරුණු 25ක් පිළිබඳව නීතිපතිවරයා හරහා පියවර ගැනීමට නියමිතය. දැනට පද්ධතියට ඇතුළු වන නිලධාරීන් කවුරුන්දැයි හඳුනාගත හැකි බැවින් දත්ත වෙනස් කිරීම් කළ නොහැකි බවත්, රේගු පද්ධතිය සමඟ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. වංචාවලට සම්බන්ධ සැකකාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව මාසිකව ප්‍රගති සමාලෝචන පවත්වන බව ද මෙහිදී හෙළි විය. මීට අමතරව රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද සම්බන්ධ නව දත්ත පද්ධතියක් ස්ථාපිත කර රියදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචිය කාර්යක්ෂම කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ලිපිගොනු අස්ථානගත වීම නිසා මීට පෙර විමර්ශන නැවතී තිබූ නමුත්, වෙනත් මූලාශ්‍ර හරහා තොරතුරු ලබාගෙන එම පරීක්ෂණ ද යළි ආරම්භ කිරීමට නිලධාරීන් එකඟතාව පළ කර තිබේ. අතරමැදියන්ගෙන් තොර, විශ්වසනීය සේවාවක් ජනතාවට ලබාදීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණයි.














