පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි 18 වනදා සම්මත වීමත් සමඟ, විශ්‍රාමික මන්ත්‍රීවරුන් පන්සියයකට වැඩි පිරිසකට හිමිවිය යුතුව තිබූ පෙබරවාරි මාසයේ මුල් දින 17 සඳහා අදාළ හිඟ වැටුප ගෙවීමට පාර්ලිමේන්තු බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම හිඟ මුදල ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි අතර, ඒ පිළිබඳ මාධ්‍ය මගින් කරුණු අනාවරණය කිරීමෙන් පසු මෙම මුදල් නිදහස් කිරීමට කටයුතු කර ඇත.
ලැබුණු හිඟ මුදල සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර විවිධ ප්‍රතිචාර පවතින බව වාර්තා වේ. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර වූ සැනින් ඒවා ඔවුන් ලබාගෙන තිබූ බැංකු ණය සඳහා හිලව් කරගෙන ඇති අතර, තවත් පිරිසක් පවසා ඇත්තේ මෙම මුදල සිංහල හා දෙමළ අලුත් අවුරුදු වියදම් සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වන බවයි. විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන්ගේ කලත්‍රයන් ඇතුළු 500කට අධික පිරිසකගේ විශ්‍රාම වැටුප් හිමිකම් මුළුමනින්ම අහෝසි වී ගොස් තිබේ.














