මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය අවසන් වන දිනය පිළිබඳව වර්තමාන රජය විමසිය යුත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මියගෙන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. අද (12) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ වත්මන් පාලනය බලයට ගෙන ඒමට ඇය කටයුතු කළ බැවින්, යුද්ධය අවසන් වන ආකාරය පිළිබඳව ඇය සහ ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හොඳින් දැනුවත් වනු ඇති බවයි.
පසුගියදා සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව “කළු කඩ මුදලාලි කෙනෙකු” මෙන් හැසිරෙන බවට චෝදනා කළේය. ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමට පෙර මෙරටට ගෙන්වා ගබඩා කර තිබූ පැරණි ඉන්ධන තොග පවා වැඩි මිලට විකිණීම සාපරාධී ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩි කිරීමට අවශ්‍යතාවක් නොමැති බව වුවද, දැන් මැදපෙරදිග යුද්ධය පෙන්වමින් ජනතාව මත අධික බදු බරක් පටවමින් සිටින බව ඔහු පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් උද්ධමනය තවදුරටත් වර්ධනය විය හැකි බවත්, විදුලි බිල පවා ගෙවා ගත නොහැකි ජනතාව භාවිත කරන භූමිතෙල් මිල පවා ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ආණ්ඩුව යුද්ධය මුවාවෙන් ජනතාව සූරාකෑම නතර කර, සහන ලබා දීමට කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.














