මුම්බායි නුවර මුලුන්ඩ් (Mulund) ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මෙට්‍රෝ දුම්රිය මාර්ගයක කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් මියගිය රාම්දාන් යාදව් (Ramdhan Yadav) නමැති පුද්ගලයාගේ පවුලේ ඥාතීන්, ඔහුගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් අද (15) දහවල් දැඩි විරෝධතාවයක නිරත වූහ. සෙනසුරාදා සිදුවූ මෙම අනතුරින් ඔහු ගමන් ගත් තීරෝද රථය මතට දැවැන්ත මෙට්‍රෝ කණුවක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබිණි.
මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සහ යාදව් ප්‍රජාවේ පිරිස් එක්ව අනතුර සිදුවූ ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අතර, ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දීය රුපියල් කෝටි 2ක (රුපියල් මිලියන 20ක) වන්දියක් සහ පවුලේ සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම් ඉටු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් දේහය භාර නොගන්නා බව ඔවුන් අවධාරණය කර සිටියහ.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ප්‍රාදේශීය දේශපාලනඥයින් වන මෝහිත් කොටේචා සහ මනෝජ් කොටක් යන මහත්වරුන් පවුලේ අය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොලිසිය විසින් පවුලේ සාමාජිකයින් වැඩිදුර සාකච්ඡා සඳහා මුලුන්ඩ් පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පස්වරු 5 වන විට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මුම්බායි නගරයේ මහා මාර්ග අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක් (Chakka Jam) ආරම්භ කරන බවට ද විරෝධතාකරුවන් අනතුරු අඟවා ඇත.













