මුලතිව්, විශ්වමඩු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (07) පස්වරුවේ සමත් විය. උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. එම විස්තර පහත දැක්වේ:
අයිස් (Ice) මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 205 හෙරොයින් (Heroin): ග්‍රෑම් 170
පොලිසිය පවසන පරිදි මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු විශ්වමඩු ප්‍රදේශයේ ඔහුගේ නිවස අසලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු වල්ලිපුරම් ප්‍රදේශයේදී කොටු කරගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 22 සහ 32 යන වයස්වල පසුවන්නන්ය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයක් සමඟ සම්බන්ධ වී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි. සැකකරුවන් දෙදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.














