කෙන්යාවේ නයිරෝබි අගනුවරට පසුගිය සිකුරාදා ඇද හැලුනු අසාමාන්‍ය තද වැසි හේතුවෙන් හටගත් දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නගරයේ පවතින දුර්වල කානු පද්ධතිය හේතුවෙන් තත්ත්වය තවත් දරුණු වූ අතර, මියගිය පිරිසෙන් අට දෙනෙකු ගංවතුරට හසුවීමෙන් ද, දෙදෙනෙකු විදුලි සැර වැදීමෙන් ද මියගිය බව වාර්තා වේ. මීට අමතරව වාහන 70කට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව සිරවී තිබේ.
කෙන්යානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මාර්තු 3 සිට 9 දක්වා කාලය තුළ මිලිමීටර් 30 සිට 70 දක්වා වැසි අපේක්ෂා කරන බවට අනතුරු අඟවා තිබුණ ද, සිකුරාදා උදෑසන 6 සිට සෙනසුරාදා උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ නයිරෝබි මධ්‍යස්ථානයකට මිලිමීටර් 112ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත. නයිරෝබි නුවර මාර්තු මාසය සඳහා වන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 92.2ක් වන අතර, මෙවර එකම දිනයක් තුළ මාසික සාමාන්‍ය මෙන් 120%කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබීම විශේෂත්වයකි.
කෙන්යාව සමකය ආසන්නයේ පිහිටා ඇති බැවින් වසරකට දෙවතාවක් වර්ෂා කාලයන් ඇතිවන “ද්වි-මාදිලි සෘතුමය භාවයක්” (Bimodal seasonality) පවතී. අන්තර් නිවර්තන අභිසරණ කලාපය (ITCZ) සමකය හරහා ගමන් කිරීම මෙයට හේතුවන අතර, මාර්තු සිට මැයි දක්වා පවතින “දීර්ඝ වැසි සමය” (Long rains) මේ වන විට කෙන්යාවට බලපාමින් පවතී. දෙවන වැසි සමය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර “කෙටි වැසි සමය” (Short rains) ලෙස හඳුන්වනු ලබයි.














