මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, එළඹෙන මැයි මාසයේදී මෙරට ඉන්ධන මිල දරාගත නොහැකි මට්ටමකින් ඉහළ යා හැකි බව රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම සහ නෞකා සඳහා වන ආරක්ෂක ගාස්තු ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා, වත්මන් මිල සංශෝධනයේදී පවා රජය ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී ඇති බව පෙන්වා දුන්නේය. කෙටි කාලීන මිල වැඩි කිරීම් සිදු කිරීම රජයේ බලාපොරොත්තුව නොවන නමුත්, ගෝලීය තත්ත්වය සමනය නොවුණහොත් මැයි මස පළමුවැනිදා සිට දැවැන්ත මිල වැඩි කිරීමකට යාමට සිදුවනු ඇති බවට ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.














