ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ (10) දිනයේදී ඔහුගේ වට්ස්ඇප් (WhatsApp) ගිණුම තාවකාලිකව අක්‍රිය වීමේ පුවතක් වාර්තා වේ. මන්ත්‍රීවරයාගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ගලා ආ අතිවිශාල දුරකථන ඇමතුම් සහ පණිවිඩ ප්‍රමාණය මෙලෙස ගිණුම අක්‍රිය වීමට ප්‍රධාන හේතුව වී ඇති අතර, කෙටි වේලාවකින් එම තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කර ගැනීමට ඔහු කටයුතු කර තිබේ.
උපන්දිනය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ නාමල් රාජපක්ෂ මහතා, සිය බිරිඳ සහ දරුවන් සමඟ අනුරාධපුරයේ වන්දනාමාන කටයුතුවල නිරත විය. සාම්ප්‍රදායිකව සිදුකරන පරිදි ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදා ගත් ඔහු, මිහින්තලය කටු සෑය වන්දනා කිරීමට ද අමතක කළේ නැත. දේශපාලන ක්‍රියාකාරකම්වලින් බැහැරව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර උපන්දිනය සැමරීම විශේෂත්වයකි.














