2022 වසරේ මෙරට ඇති වූ ‘ජනතා අරගලය’ පිටුපස විදේශීය බලවේග සහ විදේශීය මූල්‍යාධාර පවතින බවට චෝදනා කරමින්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. ඊයේ (පෙබරවාරි 14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සමහර කණ්ඩායම් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අරගලයේ නාමයෙන් තරුණ තරුණියන් බිල්ලට දුන් බවත්, එදා රූපවාහිනී නාලිකාවල පෙනී සිටිමින් ජනතාව කුපිත කළ පුද්ගලයන් අද බලයේ සිටින බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. අරගලය සඳහා අරමුදල් ලැබුණු ආකාරය සහ එම මුදල් පරිහරණය වූ ආකාරය පිළිබඳව විනිවිදභාවයක් තිබිය යුතු බවත්, ඒ හරහා රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයන් හෙළිදරව් කරගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














