මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) සියලුම පාර්ශවයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි, වෙළඳ සංකීර්ණ සහ හෝටල් විනාශ වෙමින් පවතින බවත්, මේ හේතුවෙන් සිවිල් වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන සොයා යමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. කිසිදු සිවිල් වැසියෙකු හමුදා ක්‍රියාමාර්ග හෝ යුද්ධයක ගොදුරක් නොවිය යුතු බව තමා තරයේ විශ්වාස කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපය අතිශයින් වැදගත් වන්නේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් එහි සේවය කරන බැවින් සහ කලාපය සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බැවිනි. ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ජාතික වශයෙන් වැදගත් වන කරුණක් බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. සිවිල් වැසියන්, ආර්ථික මධ්‍යස්ථාන හෝ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කරන ඕනෑම යුධමය ක්‍රියාමාර්ගයක් පිළිගත නොහැකි බවත්, එවැනි ක්‍රියාමාර්ග හරහා ලොව පුරා අස්ථාවරත්වය සහ වියවුල් සහගත බව පැතිර යන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














