මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලුම රටවල සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරයි. සිය X ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දිනවල එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාස විනාශ වෙමින් පවතින බවත්, මේ නිසා සිවිල් වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන සොයමින් සිටින බවත්ය. කිසිදු හමුදා ක්‍රියාමාර්ගයකට හෝ යුද්ධයකට සිවිල් වැසියන් ගොදුරු නොවිය යුතු බව අවධාරණය කරන ඔහු, ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ඕනෑම ප්‍රහාරයක් කිසිසේත්ම පිළිගත නොහැකි බව ද සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ ලාංකිකයන් දහස් ගණනක් සේවය කරන බැවින් එම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ජාතික වශයෙන් අතිශය වැදගත් වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව එම රටවල් සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බවත්, ආර්ථික මධ්‍යස්ථාන හෝ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කරන යුදමය ක්‍රියාමාර්ග ලොව පුරා වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රටවල් අස්ථාවරත්වයට ඇද දමන මෙවැනි ක්‍රියාමාර්ග වහා නතර කර ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සියලු පාර්ශවයන් වගකීමෙන් කටයුතු කළ යුතු බව නාමල් රාජපක්ෂ සිය ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියි.













