දශක ගණනාවක යුද්ධයක අත්දැකීම් ඇති ජාතියක් ලෙස ශ්‍රී ලංකාව යුද්ධයේ භයානකකම සහ එය ආර්ථිකයට මෙන්ම ජීවිතවලට එල්ල කරන බලපෑම හොඳින්ම දන්නා බව පවසන නාමල් රාජපක්ෂ මහතා, වත්මන් මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කළේය. ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය වැනි මහා බලවතුන් අතර ඇති වන මෙවැනි ගෝලීය ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ගේ වෙළඳාම, බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට සෘජු බලපෑම් එල්ල වන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රජය මෙම අවදානම් තත්ත්වයන් කලින් හඳුනාගෙන හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බවත්, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛතම වගකීමක් විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඕනෑම ගැටුමකට ස්ථිරසාර විසඳුම වන්නේ සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය බව පවසන ඔහු, විදේශගත ලාංකිකයන් සියලු දෙනාම ආරක්ෂිතව පසුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සිය සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.














