රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සහ පවතින ආර්ථික ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (22) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රජය බලයට පත්වීමට පෙර මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර සහන මිලට ඉන්ධන ලබා ගන්නා බව පැවසුවද, වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් ගෙවා ඩීසල් මිලදී ගැනීමට සිදුවීම රජයේ නොහැකියාව පෙන්වන බව ඔහු සඳහන් කළේය.
රාජපක්ෂවරුන් උගන්ඩාවේ ඩොලර් බිලියන 18ක් සඟවා ඇති බවට එල්ල කළ චෝදනා සිහිපත් කළ මන්ත්‍රීවරයා, “දැන් මිලියන විසි විස්ස එකතු කරමින් යන ගමනින් ඔය කියන බිලියන 18 හොයන්න වෙන්නේ ලබන ආත්මේදී” යැයි පවසමින් රජයට අභියෝග කළේය. එම මුදල් තිබේ නම් ඒවා වහාම මෙරටට ගෙන එන ලෙසත්, පදනම් විරහිත මඩ ගැසීම්වලින් ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
තවද, රජය විසින් සිදුකළ බව කියන බාල ගල් අඟුරු ගනුදෙනුව සහ සීනි, ලුණු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කිරීමට සිදුවීම හරහා දේශීය ආර්ථිකය කඩා වැටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ස්වාධීන ආයතන සහ පොලිසිය දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, නිලධාරීන්ට පීඩනය එල්ල කරමින් බොරු සාක්ෂි ලබා ගැනීමට රජය උත්සාහ කරන බව ද පැවසීය. මත්තල ගුවන්තොටුපළ සහ වරාය නගරය (Port City) වැනි ව්‍යාපෘතිවලින් උපරිම ප්‍රයෝජන ගෙන රටේ මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමට රජය අපොහොසත් වී ඇති බව ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.














