මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය සහ සිවිල් වැසියන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය විශේෂ අවධානය යොමු කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ, කිසිදු හමුදා ක්‍රියාමාර්ගයකට හෝ යුද්ධයකට සිවිල් වැසියන් ගොදුරු නොවිය යුතු බවයි. මිසයිල ප්‍රහාර හේතුවෙන් සාප්පු සංකීර්ණ, හෝටල් සහ නිවාස විනාශ වෙමින් ජනතාව දැඩි භීතියට පත්ව සිටින බවත්, සියලු පාර්ශවයන් වහාම මැදිහත් වී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපය අතිශය වැදගත් වන්නේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් එහි සේවය කරන බැවින් සහ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවතින බැවින් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එබැවින් ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ජාතික වැදගත්කමක් ඇති කරුණක් බව ඔහු සඳහන් කරයි. ආර්ථික මධ්‍යස්ථාන හෝ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඕනෑම යුධමය ක්‍රියාමාර්ගයක් ලොව පුරා වියවුල්සහගත තත්ත්වයක් ඇති කරන බැවින් එවැනි ක්‍රියා පිළිගත නොහැකි බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














