විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක ලෙස ඉවත් වීම පිළිබඳව සිය කනගාටුව පළ කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිය “X” ගිණුමෙහි විශේෂ සටහනක් තබා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පසුබෑමට හේතුව දක්ෂතාවයේ අඩුවක් නොව, ක්‍රමානුකූල සැලසුම් සහ ස්ථාවරත්වයේ හිඟකම බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන ද්විත්වයකට හිමිකම් කීවේ විනය, පූර්ව සූදානම සහ ශක්තිමත් ක්‍රමවේදයන් නිසා බවත්, වර්තමානයේ අවශ්‍ය වන්නේ කෙටි කාලීන පැලැස්තර විසඳුම් නොව දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් බවත් ඔහු පවසයි. විශේෂයෙන්ම පරිපාලනයේ වෘත්තීයභාවය සහ නායකත්වයේ ස්ථාවරත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස ඔහු හඳුනා ගනී.
පාසල් සහ දේශීය ක්‍රිකට් පද්ධතිය තුළ දක්ෂ ක්‍රීඩකයින් බිහි වුවද, ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය මානසික සහ ශාරීරික ශක්තිය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මීළඟ පරම්පරාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය නැවත ඇති කිරීමත්, ක්‍රීඩකයන් තම නිල ඇඳුමේ (Jersey) අභිමානය රැක ගැනීමත් වැදගත් බව ඔහුගේ අදහසයි.
ක්‍රීඩාව යනු හුදෙක් කුසලාන දිනා ගැනීම පමණක් නොව, එය ජාතික අනන්‍යතාවයේ සහ සිංහ සලකුණේ ආඩම්බරය නැවත ළඟා කර ගැනීමක් බව පවසන ඔහු, ක්‍රිකට් ක්‍රීඩාව නැවත සකස් කිරීමට සහ ප්‍රමිතීන් ඉහළ නැංවීමට ධෛර්යවන්තව කටයුතු කළ යුතු බව සඳහන් කරයි.














