රජය නිසි කලට නිසි තීන්දු නොගැනීම හේතුවෙන් එහි පීඩනය අද සාමාන්‍ය ජනතාවට විඳවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බ්‍රික්ස් (BRICS) සමුළුව සඳහා ආරාධනා ලැබුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා එය මගනොහැර සහභාගී වූයේ නම්, රුසියාවෙන් සහන මිලට ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව මීට බොහෝ කලකට පෙර උදාවීමට ඉඩ තිබූ බවයි. රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණෙන තෙක් නොසිට, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එම ගනුදෙනු කලින්ම සිදුකර ගැනීමට තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව අසීමිත ලෙස බොරු කියමින් ජනතාව රවටා ඇති බවත්, වර්තමාන බදු ප්‍රතිපත්තිය සහ රජයේ අකාර්යක්ෂමතාව නිසා සිදුවන පාඩුව ජනතාව පිට පටවමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය. විශේෂයෙන්ම ගල් අඟුරු ටෙන්ඩර්වලදී සිදුවූ පාඩුව මෙන්ම ලෝක වෙළඳපොළේ මිලට වඩා වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට සිදුවීම නිසා ඇතිවන අතිරේක බර ද අවසානයේ පැටවෙන්නේ මහජනයා මත බව ඔහු පැවසීය. මීට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ලබාදුන් චෙක්පත් පවා මුදල් නොමැතිව රිටන් වන තත්ත්වයක් උදාවී ඇති බවට ද ඔහු කරුණු අනාවරණය කළේය.
රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව හිතාමතාම දේශීය කෘෂිකර්මාන්තය විනාශ කරමින් පිටරටින් ආහාර ගෙන්වීමේ න්‍යායක් අනුගමනය කරන බවත්, ගෝලීය යුද වාතාවරණය හමුවේ එම ක්‍රමය අසාර්ථක වන බවත් ප්‍රකාශ කළේය. වත්මන් රජය විපක්ෂය මර්දනය කරමින් ස්වාධීන ආයතන දේශපාලනීකරණය කර ඇති බවත්, පොලිස්පතිවරයා පවා එක්තරා දේශපාලන පක්ෂයක අවශ්‍යතා මත වැඩ කරන තත්ත්වයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්, ඉදිරියේදී සහෝදර පක්ෂ සමඟ එක්ව ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනගන බවත් ඔහු අවධාරණය කළේය.














